***
උසස් පෙළ ඉගෙනුම ලබන ඔබේ පුතා පාසලේ තවත් සිසුවකු සමග බහින්බස්වීමක් ඇතිකර ගනියි. පසුදින පාසල අවසන්වී ගෙදර එද්දී එකවරම වෑන් රථයකින් පැමිණෙන පිරිසක් ඔහුගේ ඇස් වසා පැහැරගෙන යති. ඔහු නොදැනුවත්ව අනෙක් සිසුවාගේ පියා පොලීසියේ ප්‍රබලයෙකි. වැන් රථයෙන් පැමිණියේ ඔහුගේ පිරිසකි. ඔබේ පුතා පාලු ස්ථානයකට ගෙනයන ඔවුහු, ඔහුට අමානුශික ලෙස පහරදෙති. පැය ගනනකට පසු ගෙමිදුලේ ලේ ගලමින් සිහිසුන්ව සිටින පුතා ඔබට හමුවේ. පුතා දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කෙරේ. පොලිස් පැමිණිල්ල ලියන අවස්ථාවේ ස්ථානධිපතිට ජංගම දුරකථන ඇමතුමක් ලැබෙනු ඔබ දකියි.
"මේවා ඔය වයසට ඇතිකරගන්න රණ්ඩු. ගොඩින් බේරගමු." අනතුරුව ඔහු කියයි. ඔබ කෝපාවිෂ්ට වේ. "මීට වඩා වැදගත් වැඩ අපිට තියනවා" කියමින් පොලිසිය ඔබව එළවා දමයි. අභ්‍යන්තර ලේ ගැලීම් හේතුවෙන් ඔබේ පුතා පසුදින මියයයි. බලවත් කම්පනයට පත්වන ඔබ හා බිරිඳ, පොලිස් ප්‍රධානීන්ට, පලාතේ මන්ත්‍රීට හා මාධ්‍ය ආයතන වලට මේ ගැන පමිණිළි කරයි. "සලකා බලන්නම්," යැයි කීවද නිලධාරීහු කිසිවක් නොකරති.
මුලදී ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතන පසුදින තම විමසීම් නවතා දමති. එක් ආයතනයකට එහි අයිතිකරුගෙන් අණ ලැබුනු බවත්, අනෙක් ආයතනයට ප්‍රබල දේශපාලඥයකුගෙන් තර්ජනයක් එල්ලවූ බවත් ඔබට දැනගන්නට ලැබේ. මේ ගැන නීතිමය පියවර ගැනීමට ඔබ තීරණය කරයි. එහෙත් නීතිඥයෝ ඔබව නියෝජනය කිරීමට පැකිළෙති. එක් නීතිඥයෙක් නඩුව භාරගනියි. එදින රාත්‍රියේ ඔහුගේ නිවසට යම් පිරිසක් ගල්මුල් එල්ල කරති. පසුදින ඔහු නඩුවෙන් ඉවත්වේ. එදිනම ඔබේ නිවසට මැදියම් රාත්‍රියේ තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබේ. "අනෙක් එකාත් නැතිකරගන්න කැමතිද?" යමකු අසයි. ඔබගේ දෙවෙනි දරුවා දෙස බලන ඔබ, නීතිමය පියවර අත් හැරදමීමට තීරණය කරයි. දුක දරාගත නොහැකිව ඔබගේ බිරිඳ රෝගාතුර වෙයි.
ප්‍රහාරයේ මුල්තැනගත් සිසුවා කරදරයකින් තොරව තම 'ස්පොර්ට්ස්' මෝටර් රථයෙන් පාසැලට පැමිණේ. එම වසරේ පාසල් රග්බි ශූරතාවයද ඔහු දිනාගනියි.
No comments:
Post a Comment