Jan 3, 2010

කථා නවයක් #3: පිහිනුම් තටාකය

සියළු සිදුවීම් මනඃකල්පිතය. මෙවැනි සිදුවීම් සිදුවීමට ආසන්නද, දැනටමත් සිදුවෙමින් පවතීද, කිසිදා සිදු නොවේද යන්න තීරණය කිරීම පාඨකයින් හට භාර කරමු. සිදුවෙමින් පවතී නම් ඒවා නැවත්වීමට වග බලා ගනිමු. අසල්වැසියාට අද සිදුවන දේ හෙට අපට සිදුවිය හැකි බව අමතක නොකරමු.

***
ඔබේ ධනවත් අසල්වැසියාට පිහිනුම් තටාකයක් සෑදීමට අවශ්‍යවේ. තම ඉඩමේ ඉඩ ප්‍රමාණවත් නොමැති බැවින් ඔබේ ඉඩම හා නිවස විකිණීමට කැමතිදැයි හෙතම විමසයි. ඔබට ප්‍රදේශය හැරයාමට කිසිදු උවමනාවක් නැතයි ඔබ පවසයි. මසකට පමණ පසු ඔබට වෙනත් දිස්ත්‍රික්කයකට මාරුවක් ලැබේ. එය වෙනස්කර ගැනීමට දරන සියළු උත්සායහන් ව්‍යවර්ථ වේ. නිවස විකුණන්නේදැයි නැවතත් අසල්වැසියා අසනවිට සිදුවන්නට ඇති දෙය එකවරම ඔබට වටහේ. ඔහු ඔබගේ දෙපාර්තමේන්තුවේ විෂය භාර ඇමතිගේ මිතුරකු බව ඔබ සොයාගනියි.

නිවස කුලියට දී යාමට ඔබ තීරණය කරයි. එහෙත් එය බැලීමට එන කිසිදු කෙනකු එක්වතාවකට වඩා නොපැමිණේ. අසල්වාසීන් ඔබ ආශ්‍රයකිරීම ක්‍රමක්‍රමයෙන් අඩු කර ඇති බව ඔබට වැටහේ. ඔබට සමීපම අසල්වැසියාගෙන් අසූ විට ඔහු පවසන්නේ ඔබගේ නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව පොලිස් පරීක්ෂණයක් සිදුවන බවයි. අසල්වාසීන් කිහිපදෙනෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇති බවත්, නිවස බැලීමට එන අය මේ ගැන දැනගත්විට වහා පිටවී යන බවත් ඔහු පවසයි.

පොලිසියට ගොස් මේ ගැන ප්‍රශ්න කළවිට ඔවුන් සිනාසෙමින් පවසන්නේ එවැනි පරීක්ෂණයක් නොමැති බවත්, ඔබ වරදක් කර නොමැතිනම් බියවීමට හේතුවක් නොමැති බවත්ය. ඔබට නිවස කුලියට දීමට පවා විකිණීමටවත් නොහැකිවේ. ප්‍රදේශයේ ජීවත්වීමද අපහසු වේ. අවසානයේ නිවස පෙරකී අසල්වැසියාට කුණු කොල්ලයට විකිණීමට ඔබට සිදුවේ. දරු දෙදෙනා වෙනත් පාසල් වලට ඇතුලත් කරන ඔබ, දුෂ්කර ප්‍රදේශයේ කුඩා නිවසකට යයි.

ඔබේ පෙර නිවස කඩා දමා පිහිනුම් තටාකයක් තනා ඇති බව පසුව ඔබට ආරංචි වේ.

No comments: