Jan 17, 2010

කථා නවයක් #6: සම්මුඛ පරීක්ෂණය

සියළු සිදුවීම් මනඃකල්පිතය. මෙවැනි සිදුවීම් සිදුවීමට ආසන්නද, දැනටමත් සිදුවෙමින් පවතීද, කිසිදා සිදු නොවේද යන්න තීරණය කිරීම පාඨකයින් හට භාර කරමු. සිදුවෙමින් පවතී නම් ඒවා නැවත්වීමට වග බලා ගනිමු. අසල්වැසියාට අද සිදුවන දේ හෙට අපට සිදුවිය හැකි බව අමතක නොකරමු.

***

රැකියාවක් පතා පෞද්ගලික සමාගමකට අයැදුම් කරන ඔබ, දෙවන සම්මුඛ පරීක්ෂණය දක්වා සමත්වෙයි. නොබෝ දිනකින් ඔබේ ස්ථානය ස්ථිර කරන බව එහි ප්‍රධානියා ඔබට පවසයි. බොහෝ කලක් රැකියාවක් සොයමින් සිටි ඔබ, මෙම දැනුම්දීම ලැබෙන තෙක් දින ගනිමින් සිටියි. එහෙත් නොසිතූ පරිදි එම පුරප්පාඩුව වෙනකකුට ලබාදී ඇතිබව ඔබට දැනගන්නට ලබේ. දුරකථන ඇමතුම් ගණනාවකින් පසු අදාල ප්‍රධානියා ඔබගේ ඇමතුම භාරගනියි. ප්‍රසිද්ධියේ මෙය නොපවසන ලෙස පොරොන්දු කරගන්නා ඔහු, ඔබට මෙම අරුම පුදුම කථාව පවසයි:

එනම් පුරප්පාඩු පිරවීමට ආසන්න වී එක්තරා ප්‍රබල මන්ත්‍රීවරයකුගෙන් තම ආයතනයට ඇමතුමක් ලැබුන බවයි. නම් ලයිස්තුවක් සැපයූ ඔහු, 'මේ මට සෑහෙන උදව් කරපු අය. මෙයින් දෙන්නෙක් වත් ගන්න ඕනේ' යැයි කියා ඇත. ලයිස්තුව දෙස බැලූ ආයතන ප්‍රධානියාට පෙනී ගොස් ඇත්තේ එහි ඇති සියළු දෙනා මූලික සුදුසුකම්වත් නොමැති දේශපාලන ආධාරකරුවන් හෝ ඔවුන්ගේ ඥාතීන් බවයි. මෙවන් දෙයක් කිසිදා අත්දැක නොමැති ප්‍රධානියා වෙනත් ස්ථාන කිහිපයකින් විමසීම් කරයි. පුදුමයකි. ප්‍රධාන පෙළේ ආයතන ගණනාවකට මෙසේ ලයිස්තු ලැබී ඇත. ලයිස්තු ප්‍රතික්ෂේප කළ ඇතම් සමාගම් වල ආනයන / අපනයන බලපත් අහෝසි වූ බවත්, ඇතම් සමාගම් කරදරකාරී ආදායම් බදු විමර්ශන වලට බඳුන්වූ බවත් ඔහුට දැනගන්නට ලැබිණි. පාලක පක්ෂයේ කිසිවකු නොහඳුනන ප්‍රධානියා, බියට පත්ව පුරප්පාඩු දෙකක් ලයිස්තුවෙන් පුරවා ඇත. පොරොන්දු කඩකිරීමට සිදුවීම පිළිබඳව ඔහු සමාව අයැදියි. ඔබට නැවතත් මුල සිට රැකියාවක් සෙවීමට සිදුවේ.

Jan 8, 2010

කථා නවයක් #5: රේල් පීළි

සියළු සිදුවීම් මනඃකල්පිතය. මෙවැනි සිදුවීම් සිදුවීමට ආසන්නද, දැනටමත් සිදුවෙමින් පවතීද, කිසිදා සිදු නොවේද යන්න තීරණය කිරීම පාඨකයින් හට භාර කරමු. සිදුවෙමින් පවතී නම් ඒවා නැවත්වීමට වග බලා ගනිමු. අසල්වැසියාට අද සිදුවන දේ හෙට අපට සිදුවිය හැකි බව අමතක නොකරමු.
***

දුම්රියට යටවී පුද්ගලයකු මියයයි. පොලිසිය විමසීම් සිදුකර මෙය සියදිවි හානිකරගැනීමක් ලෙස ප්‍රකාශ කරයි. ඉක්මනින් අවසන් කටයුතු සිදුකර නිශ්ශබ්දව සිටින ලෙස මියගිය අයගේ ඥාතීන්හට පොලිසිය බලපෑම් කර ඇතැයි රාවයක් පැතිර යයි.

දින කිහිපයකට පසු ජංගම දුරකථනයකින් පටිගත කළ විඩියෝ දර්ශණයක් නිර්නාමිකව අන්තර්ජාලයට නිකුත්වේ. එහි පෙනෙන්නේ මිනිසුන් තිදෙනෙකු අදාල පුද්ගලයා දුම්රිය පීලි වෙත ඇදගෙන ගොස්, නැඟිටගැනීමට නොහැකිවනසේ පහරදී දුම්රිය වංගුවකින් මතුවීමට මොහොතකට පෙර පීලි මතට ඇදදමා නික්මයන ආකාරයයි. විලාප තබමින් සිටින පුද්ගලයා, තිරිංග යෙදීමට පෙර දුම්රිය එන්ජිමට යටවී මියයයි. පහරදීම සිදුකල අයගෙන් දෙදෙනකු සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිළධාරීන් බව හඳුනාගැනේ.

එම පුද්ගලයාම දින කිහිපයකට පෙර ප්‍රදේශයේ මන්ත්‍රී හට කුණු බිත්තරයකින් පහරදී පරුෂ වචනයෙන් බැණවැදුණු බව ඇසින් දුටු කිහිපදෙනෙකු පවසති. ඔහු යම් මානසික රෝගයකින් පෙළුනු බවද හෙලිවේ.

මෙය ආණ්ඩුව හා එහි ප්‍රබල මන්ත්‍රීවරයකු අපහසුතාවයට පත්කිරීම සඳහා සැලසුම් කළ කුමන්ත්‍රණයක් බවත්, මෙවැනි අසථ්‍ය කථා පතුරුවන්නන් හට දැඩි දඬුවම් පමුණුවන බවත් මෑතකදී ස්ථාපිත කල 'මාධ්‍ය පාලක අධිකාරිය' පවසයි. විඩියෝව ව්‍යාජ එකක් බව රජයේ විශේෂඥයකු ප්‍රකාශකරයි.

එහෙත් ටික දිනකට පසු විඩියෝවේ කැමරා කෝණය ආශ්‍රිත කරගනිමින් රහස් පොලිසියේ නිලධාරීන් අසල ඇති තට්ටු නිවාසයක නිවැසියන් ප්‍රශ්ණ කරගෙන යයි. ඉන් සති කිහිපයකට පසු, එහි පදිංචිව සිටි තරුණයකු අතුරුදන් වන අතර ඉන් පසු ඔහු දකින්නට හෝ අසන්නට නොලැබේ.

බැණවැදීමේ සිද්ධිය ඇසින් දුටු යැයි කියන කිහිපදෙනකු හා පුවත්පත් වාර්තාකරුන්වන් කිහිපදෙනකු රිමාන්ඩ් භාරයට ගැනේ. ටික දිනකින් නිදහස් වන මේ සියළුදෙනාම, කරුනු නොදැන වැරදි ආරංචි පැතිරවූ බව පිළිගනිති.

Jan 6, 2010

කෘතඥතාව හා යුද්ධය

යුධ ජයග්‍රහණයකට කෘතගුණ සැලකීමක් වශයෙන් වේවා, වෙනත් හේතුවකට වේවා, රටක පාලනය යනු ත්‍යාග දීමට සුදුසු දෙයක් නොවේ. රාජ්‍ය පාලනය යා යුත්තේ අනාගත සේවා කාලය තුල වැඩිම සේවයක් හෝ අවම හානියක් සිදුකරතැයි ජනතාව අනුමාන කරන පුද්ගලයාටය. අතීත සේවය සඳහා දේපළමය ත්‍යාග හා නම්බු නාම පිරිනැමීම මිස බලය පිරිනැමීම එතරම් නුවනැති ක්‍රියාවක් නොවේ.

මෙය 2010 ප්‍රධාන ජනාධිපති අපේක්ෂක දෙදෙනාටම අදාලය. කිමද දෙදෙනාම යුධ ජයග්‍රහණය තමා රටට කළ සේවයක් වශයෙන් ඉදිරිපත් කර කෘතඥ ඡන්ද බලාපොරොත්තු වන බැවිනි.

Jan 4, 2010

කථා නවයක් #4: "අංකල්, අයින්වෙන්න"

සියළු සිදුවීම් මනඃකල්පිතය. මෙවැනි සිදුවීම් සිදුවීමට ආසන්නද, දැනටමත් සිදුවෙමින් පවතීද, කිසිදා සිදු නොවේද යන්න තීරණය කිරීම පාඨකයින් හට භාර කරමු. සිදුවෙමින් පවතී නම් ඒවා නැවත්වීමට වග බලා ගනිමු. අසල්වැසියාට අද සිදුවන දේ හෙට අපට සිදුවිය හැකි බව අමතක නොකරමු.
***

ඔබගේ ගිණුමෙන් මුදල් ලබාගැනීම සඳහා ඔබ බැංකුවේ ටෙලර් කවුන්ටරය ඉදිරිපස පෝලිමේ සිටියි. එකවරම "අංකල්, අයින්වෙන්න" යයි කියමින් තරුණයෙකු ඔබ හා පෝලිමේ සිටින අනෙක් අය තල්ලු කරමින් පෝලිමේ ඉදිරපසටම ගොස් රුපියල් ලක්ෂයේ මුදල් නෝට්ටු මිටි විස්සක් කවුන්ටරය මත තබයි. වසර ගණනක් රජයේ සේවය කළ ඔබට මේ වසරේ නිවාස ණය පවා ගෙවා ගැනීමට නොහැකිවිය. ඔබ පැමිණියේ ඔබගේ දියණියගේ විවාහ මංගල්‍යයට දුකසේ ඉතිරිකළ මුදලින් කොටසක් අකමැත්තෙන් හෝ ලබාගැණීමට සිදුවී ඇති බැවිනි.

තරුණයාට වයස විස්සකට වැඩිවිය නොහකිය. මුදල් තැන්පත් කරන ඔහු, තමා සමග පැමිණි සුදු කමිස හැඳි හැඩිදැඩි ආරක්ෂකයින් දෙදෙනා සමග නික්මයයි. ලබන මස වියදම් පියවන්නේ කෙසේදැයි තැවෙන ඔබ, මොහු මේ රැස්කරන්නේ කාගේ මුදල්දැයි කල්පනා කරයි.

Jan 3, 2010

කථා නවයක් #3: පිහිනුම් තටාකය

සියළු සිදුවීම් මනඃකල්පිතය. මෙවැනි සිදුවීම් සිදුවීමට ආසන්නද, දැනටමත් සිදුවෙමින් පවතීද, කිසිදා සිදු නොවේද යන්න තීරණය කිරීම පාඨකයින් හට භාර කරමු. සිදුවෙමින් පවතී නම් ඒවා නැවත්වීමට වග බලා ගනිමු. අසල්වැසියාට අද සිදුවන දේ හෙට අපට සිදුවිය හැකි බව අමතක නොකරමු.

***
ඔබේ ධනවත් අසල්වැසියාට පිහිනුම් තටාකයක් සෑදීමට අවශ්‍යවේ. තම ඉඩමේ ඉඩ ප්‍රමාණවත් නොමැති බැවින් ඔබේ ඉඩම හා නිවස විකිණීමට කැමතිදැයි හෙතම විමසයි. ඔබට ප්‍රදේශය හැරයාමට කිසිදු උවමනාවක් නැතයි ඔබ පවසයි. මසකට පමණ පසු ඔබට වෙනත් දිස්ත්‍රික්කයකට මාරුවක් ලැබේ. එය වෙනස්කර ගැනීමට දරන සියළු උත්සායහන් ව්‍යවර්ථ වේ. නිවස විකුණන්නේදැයි නැවතත් අසල්වැසියා අසනවිට සිදුවන්නට ඇති දෙය එකවරම ඔබට වටහේ. ඔහු ඔබගේ දෙපාර්තමේන්තුවේ විෂය භාර ඇමතිගේ මිතුරකු බව ඔබ සොයාගනියි.

නිවස කුලියට දී යාමට ඔබ තීරණය කරයි. එහෙත් එය බැලීමට එන කිසිදු කෙනකු එක්වතාවකට වඩා නොපැමිණේ. අසල්වාසීන් ඔබ ආශ්‍රයකිරීම ක්‍රමක්‍රමයෙන් අඩු කර ඇති බව ඔබට වැටහේ. ඔබට සමීපම අසල්වැසියාගෙන් අසූ විට ඔහු පවසන්නේ ඔබගේ නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව පොලිස් පරීක්ෂණයක් සිදුවන බවයි. අසල්වාසීන් කිහිපදෙනෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇති බවත්, නිවස බැලීමට එන අය මේ ගැන දැනගත්විට වහා පිටවී යන බවත් ඔහු පවසයි.

පොලිසියට ගොස් මේ ගැන ප්‍රශ්න කළවිට ඔවුන් සිනාසෙමින් පවසන්නේ එවැනි පරීක්ෂණයක් නොමැති බවත්, ඔබ වරදක් කර නොමැතිනම් බියවීමට හේතුවක් නොමැති බවත්ය. ඔබට නිවස කුලියට දීමට පවා විකිණීමටවත් නොහැකිවේ. ප්‍රදේශයේ ජීවත්වීමද අපහසු වේ. අවසානයේ නිවස පෙරකී අසල්වැසියාට කුණු කොල්ලයට විකිණීමට ඔබට සිදුවේ. දරු දෙදෙනා වෙනත් පාසල් වලට ඇතුලත් කරන ඔබ, දුෂ්කර ප්‍රදේශයේ කුඩා නිවසකට යයි.

ඔබේ පෙර නිවස කඩා දමා පිහිනුම් තටාකයක් තනා ඇති බව පසුව ඔබට ආරංචි වේ.

කථා නවයක් #2: උසස් පෙළ

සියළු සිදුවීම් මනඃකල්පිතය. මෙවැනි සිදුවීම් සිදුවීමට ආසන්නද, දැනටමත් සිදුවෙමින් පවතීද, කිසිදා සිදු නොවේද යන්න තීරණය කිරීම පාඨකයින් හට භාර කරමු. සිදුවෙමින් පවතී නම් ඒවා නැවත්වීමට වග බලා ගනිමු. අසල්වැසියාට අද සිදුවන දේ හෙට අපට සිදුවිය හැකි බව අමතක නොකරමු.

***

උසස් පෙළ ඉගෙනුම ලබන ඔබේ පුතා පාසලේ තවත් සිසුවකු සමග බහින්බස්වීමක් ඇතිකර ගනියි. පසුදින පාසල අවසන්වී ගෙදර එද්දී එකවරම වෑන් රථයකින් පැමිණෙන පිරිසක් ඔහුගේ ඇස් වසා පැහැරගෙන යති. ඔහු නොදැනුවත්ව අනෙක් සිසුවාගේ පියා පොලීසියේ ප්‍රබලයෙකි. වැන් රථයෙන් පැමිණියේ ඔහුගේ පිරිසකි. ඔබේ පුතා පාලු ස්ථානයකට ගෙනයන ඔවුහු, ඔහුට අමානුශික ලෙස පහරදෙති. පැය ගනනකට පසු ගෙමිදුලේ ලේ ගලමින් සිහිසුන්ව සිටින පුතා ඔබට හමුවේ. පුතා දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කෙරේ. පොලිස් පැමිණිල්ල ලියන අවස්ථාවේ ස්ථානධිපතිට ජංගම දුරකථන ඇමතුමක් ලැබෙනු ඔබ දකියි.

"මේවා ඔය වයසට ඇතිකරගන්න රණ්ඩු. ගොඩින් බේරගමු." අනතුරුව ඔහු කියයි. ඔබ කෝපාවිෂ්ට වේ. "මීට වඩා වැදගත් වැඩ අපිට තියනවා" කියමින් පොලිසිය ඔබව එළවා දමයි. අභ්‍යන්තර ලේ ගැලීම් හේතුවෙන් ඔබේ පුතා පසුදින මියයයි. බලවත් කම්පනයට පත්වන ඔබ හා බිරිඳ, පොලිස් ප්‍රධානීන්ට, පලාතේ මන්ත්‍රීට හා මාධ්‍ය ආයතන වලට මේ ගැන පමිණිළි කරයි. "සලකා බලන්නම්," යැයි කීවද නිලධාරීහු කිසිවක් නොකරති.

මුලදී ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතන පසුදින තම විමසීම් නවතා දමති. එක් ආයතනයකට එහි අයිතිකරුගෙන් අණ ලැබුනු බවත්, අනෙක් ආයතනයට ප්‍රබල දේශපාලඥයකුගෙන් තර්ජනයක් එල්ලවූ බවත් ඔබට දැනගන්නට ලැබේ. මේ ගැන නීතිමය පියවර ගැනීමට ඔබ තීරණය කරයි. එහෙත් නීතිඥයෝ ඔබව නියෝජනය කිරීමට පැකිළෙති. එක් නීතිඥයෙක් නඩුව භාරගනියි. එදින රාත්‍රියේ ඔහුගේ නිවසට යම් පිරිසක් ගල්මුල් එල්ල කරති. පසුදින ඔහු නඩුවෙන් ඉවත්වේ. එදිනම ඔබේ නිවසට මැදියම් රාත්‍රියේ තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබේ. "අනෙක් එකාත් නැතිකරගන්න කැමතිද?" යමකු අසයි. ඔබගේ දෙවෙනි දරුවා දෙස බලන ඔබ, නීතිමය පියවර අත් හැරදමීමට තීරණය කරයි. දුක දරාගත නොහැකිව ඔබගේ බිරිඳ රෝගාතුර වෙයි.

ප්‍රහාරයේ මුල්තැනගත් සිසුවා කරදරයකින් තොරව තම 'ස්පොර්ට්ස්' මෝටර් රථයෙන් පාසැලට පැමිණේ. එම වසරේ පාසල් රග්බි ශූරතාවයද ඔහු දිනාගනියි.

Dec 31, 2009

කථා නවයක් #1: මොන්ටෙරෝව

සියළු සිදුවීම් මනඃකල්පිතය. මෙවැනි සිදුවීම් සිදුවීමට ආසන්නද, දැනටමත් සිදුවෙමින් පවතීද, කිසිදා සිදු නොවේද යන්න තීරණය කිරීම පාඨකයින් හට භාර කරමු. සිදුවෙමින් පවතී නම් ඒවා නැවත්වීමට වග බලා ගනිමු. අසල්වැසියාට අද සිදුවන දේ හෙට අපට සිදුවිය හැකි බව අමතක නොකරමු.

ඔබගේ මිතුරකු තම වාහනයෙන් ගමන් කරද්දී පාරේ වැරදි පසින් අධිවේගයෙන් ආ කළු පහැති මොන්ටෙරෝ රථයක හැපේ. මොන්ටෙරෝ රථයෙන් බසින පුදගලයාට මිතුරා බැණවදියි. එකවරම තවත් දෙදෙනකු රථයෙන් බැසවුත් මිතුරාව තම රථයෙන් එළියට ඇද පහරදෙති. අවට සිටින්නෝ එකවරම කිසිවක් නොදුටු සේ එතැනින් ඉවත්වයාමට පටන්ගනිති. මිතුරාට දැඩිලෙස තුවාල කරන මේ තිදෙනාගේ ප්‍රධානියා 'පුළුවන් දෙයක් කරාපිය' යයි කෑගසා මොන්ටෙරෝවේ නැඟී යන්නට යයි. අවට සිටින්නෝ පොලිසිය අමතන්නේ රථය නොපෙනී ගිය පසුය. පොලිසිය පැමිණේ. මොන්ටෙරෝවේ අංක තහඩුව ලබාදීම තබා සිදුවීම පිළිබඳව සාක්ෂි දීමට පවා ඇසින් දුටුවෝ බිය වෙති. 'සාක්කි නැතිව අපිට කරන්න දෙයක් නැහැ. තුවාලකාරයා ඉස්පිරිතාලෙ ගෙනියන්න' යැයි කියන පොලිසිය පිටත්වයයි. සති ගණනක් රෝහලේ ගතකිරීමට සිදුවන ඔබේ මිතුරාට නීතියෙන් හෝ රජයෙන් කිසිදු සරණක් නොලැබේ.