Dec 31, 2009

කථා නවයක් #1: මොන්ටෙරෝව

සියළු සිදුවීම් මනඃකල්පිතය. මෙවැනි සිදුවීම් සිදුවීමට ආසන්නද, දැනටමත් සිදුවෙමින් පවතීද, කිසිදා සිදු නොවේද යන්න තීරණය කිරීම පාඨකයින් හට භාර කරමු. සිදුවෙමින් පවතී නම් ඒවා නැවත්වීමට වග බලා ගනිමු. අසල්වැසියාට අද සිදුවන දේ හෙට අපට සිදුවිය හැකි බව අමතක නොකරමු.

ඔබගේ මිතුරකු තම වාහනයෙන් ගමන් කරද්දී පාරේ වැරදි පසින් අධිවේගයෙන් ආ කළු පහැති මොන්ටෙරෝ රථයක හැපේ. මොන්ටෙරෝ රථයෙන් බසින පුදගලයාට මිතුරා බැණවදියි. එකවරම තවත් දෙදෙනකු රථයෙන් බැසවුත් මිතුරාව තම රථයෙන් එළියට ඇද පහරදෙති. අවට සිටින්නෝ එකවරම කිසිවක් නොදුටු සේ එතැනින් ඉවත්වයාමට පටන්ගනිති. මිතුරාට දැඩිලෙස තුවාල කරන මේ තිදෙනාගේ ප්‍රධානියා 'පුළුවන් දෙයක් කරාපිය' යයි කෑගසා මොන්ටෙරෝවේ නැඟී යන්නට යයි. අවට සිටින්නෝ පොලිසිය අමතන්නේ රථය නොපෙනී ගිය පසුය. පොලිසිය පැමිණේ. මොන්ටෙරෝවේ අංක තහඩුව ලබාදීම තබා සිදුවීම පිළිබඳව සාක්ෂි දීමට පවා ඇසින් දුටුවෝ බිය වෙති. 'සාක්කි නැතිව අපිට කරන්න දෙයක් නැහැ. තුවාලකාරයා ඉස්පිරිතාලෙ ගෙනියන්න' යැයි කියන පොලිසිය පිටත්වයයි. සති ගණනක් රෝහලේ ගතකිරීමට සිදුවන ඔබේ මිතුරාට නීතියෙන් හෝ රජයෙන් කිසිදු සරණක් නොලැබේ.

මෙම වෙබ් අඩවිය හා එහි අදහස් ගැන

ශ්‍රී ලංකාව වෙනස්විය යුතු බව බොහෝ දෙනා පිළිගනිති. එහෙත් එය නීති පොත් වෙනස් කිරීමෙන් හෝ ව්‍යවස්ථා වෙනස් කිරීමෙන් හෝ කල හැකිද? ශ්‍රී ලංකාව වෙනස් වීමට නම් සිදුවිය යුත්තේ එක් දෙයක් පමණකි: එනම් ශ්‍රී ලාංකිකයින් වෙනස්විය යුතුය.

රට විනාශ මුඛයට ගෙනයාම පිළිබඳව අපි දේශපාලඥයින් හට බැණවදිමු. එහෙත් දේශපාලඥයින් පත්කරන්නේ අපිය; ඔවුන්ගේ ක්‍රියාකලාපයන් දකිමින් ඔවුන්ට ඡන්දය දෙන්නේ අපිය. 'සෑම රටකටම ලැබෙන්නේ එරට ජනයාට ඔබින දේශපාලඥයින් මිස වෙනකකු නොවේ' යැයි කථාවක් ඇත. එය සත්‍යය. සත්‍ය පවසන්නන් හා උගතුන් පසෙක තබා කෑගසන්නන් හා නොමිලයේ නොයෙක් දේ පොරොන්දු වෙන්නන් හට ඡන්දය දෙන්නේ අපිය.

අප වෙනස් නොවන තුරු මෙය වෙනස් නොවේ. එකම දේ නැවත නැවත කළහොත් ලැබෙන්නේ එකම ප්‍රතිඵලය බව කිවයුතු නොවේ. වෙනස් ප්‍රතිඵලයක් අවශ්‍ය නම් ක්‍රියා කලාපය වෙනස් කල යුතුය. ඒ සඳහා ආකල්ප වෙනස් කල යුතුය. එනම් ආකල්ප වෙනස් කිරීමට අකමැති උදවිය යථා තත්වය විවේචනය නොකළ යුතුය.

අපි වෙනස් වීමට උත්සාහ දරමු. එනම් අප එල්බ ගෙන සිටින ආකල්ප ප්‍රශ්න කරමු. විරුද්ධ මත, වෙනස් මත, විමසා බැලීමට බිය නොවෙමු.

* මෙම වෙබ් අඩවියේ ඇති සියළු ලිපි විකෘති කිරීමන් තොරව පිටපත් කිරීමේ හා බෙදාහැරීමේ අයිතිය ලේඛකයා ඔබට ලබාදෙයි.
* ඔබේ අදහස්: විනීතව හා තර්ක්‍යානුකූලව ඉදිරිපත් කරන සියළු පාඨක අදහස් මෙහි දර්ශනය කෙරේ.

If you cannot read this, install Sinhala Unicode support from:
http://siyabas.lk/sinhala_how_to_install.html